hari maga

parisara vinaazaya valakaa, aarþhika haa samaajika vixamaþaa ðurukara, saaðhaaraNa samaajayak apa mavbimata uðaakara gaþa hækkee, 1832 ðii aarambhavuu palaaþ navayee kûþima maayim beðiima ahoosikara, ee venuvata, parisaraaþmaka maayim sahiþa (ikolojikal bavundariis) jana sabhaa namæþi sammuþi ðeezapaalana eekaka pihituvaa gæniimen ya. eya hari maga hevaþ bauððha maðhyama praþipaðaavaya.

2015-01-24

ලිච්චවි රජදරුවන් දුන් නාස් ලණුව (1)

ඩොනමෝර් බෞද්ධයින්

ලංකාව නමැති කොලනියට 1931 දී සර්‍වජන චන්ද බලය දෙනවාට පක්‍ෂව සිටියේ ඩොනමෝර් කොමිසම හා ඒ ඊ ගුණසිංහ මහතාත් පමණයයි කියැවේ! එසේ නමුත් මේ නිසා 1832 දී සිටම සුද්දන්ගේ හා කළුසුද්දන්ගේ වෙනස්කම් හා හිරිහැරවලට යටවී සිටි සිංහල බෞද්ධයින්ට රටේ දේශපාලන බලය මාරුවන බව තේරුම් ගත්, එතෙක් හුදෙක් වාසි සඳහා ක්‍රිස්තියානිකාරයින්වී සිටි, සිංහල කළුසුද්දෝ, යළිත් වරක් බුද්ධාගමට හැරුනේය. රනිල් අගමැතිතුමාගේ මාමා වන ජේ ආර් හා අගමැති බණ්ඩාරනායක මීට උදාහරණ දෙකකි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ අපේ හාමුදුරුවනේ! අපේ හාමුදුරුවනේ! ආමන්ත්‍රණයට අමතරව, මෑතකාලයේදී, බුද්ධාගමේ කතා, ජනප්‍රිය දේශපාලනයට, වැඩිපුර යොදාගෙන ඇත්තේ කොල පාට දේශපාලකයින් විසින් බව පෙනේ. 1977 ජේ ආර් ගේ ධර්මිෂ්ට සමාජ කතාව හොඳ නිදසුනකි. මෙසේ බෞද්ධ කතා දේශපාලනයට ගෙන ඒම රනිල් ව්සින්ද දැන් පුරුද්දක් කරගෙන ඇත. ලංකාව ථේරවාදී බුද්ධාගමේ මධ්‍යස්ථානයක් කිරීම ඔහුගේ අළුත්ම යෝජනාවය. ලංකාවේ සිංහල බෞද්ධ පදනම අතුගාදැමිය යුතුයයි ඔහුගේ පක්‍ෂයේ රෝසි සේනානායක ඇමතිනිය මීට කලින් කියා සිටිනිසා මේ යෝජනාව ප්‍රථමයෙන් පක්‍ෂය තුල සාකච්චා කිරීම ලිච්චවි මග නොවේද?

යූ එන් පී 55 වන සංවත්සරයේදී (2013 දෙසැම්බර් 21) රනිල් කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ, අජාසත් රජු විසින් ඒ කාලයේ ලිච්චවි රජවරුන්ට කල අකාරයටම, තම පක්‍ෂය භේදභින්න කරනවාය කියාය. ඩොනමෝර් බෞද්ධයින් දැනසිටි කෙහෙල්මල් බුද්ධාගමක් නැත. එහෙත් රනිල් බුද්ධාගම ගැන පොතක්ද ලියුවේය. ඔහු වෛතුල්‍යවාදය ගැනද දැන සිටියේය. එස් බී දිසානායක කලාවගේ එය වෙන කෙනෙක් ලවා ලියවා ගත්තාදැයි අපට කිව නොහැකිය.
රනිල්ගේ පියා ක්‍රිස්තියානි මාක්ස්වාදියෙක් වුවත් මව හොඳ විජේවර්‍ධන පවුලේ බෞද්ධයෙක් විය. දැන් රටේ අගමැති වශයෙන් රනිල් විසින් ලිච්චවි රජදරුවන් ගැන කථා කරන්නට පටන්ගෙන ඇති නිසා ඔහු චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්‍ගය (ශීල-සමාධි-ප්‍රඥා)යනු මොනවාදැයි දන්නවාද යන ප්‍රශ්නය යමෙකුගේ සිතට එන්නට පුළුවන් ය.  මෙයට හේතුව ලිච්චවි රීති (මූලධර්‍ම) මොනවාදැයි ඔහු හරිහැටි නොදන්නා බව ඔහුගේ ආණ්ඩුවේ ක්‍රියාවලින් පිළිඹිඹු වීමය. මහින්දගේ අපේ හාමුදුරුවනේ මෙන් රනිල්ගේ මේ බෞද්ධ කතාද හුදෙක් නිශ්ඵල කතා ලෙස මහජනයාට ඒත්තුයාමටද ඉඩ තිබේ.

චන්ද්‍රිකාටත් වඩා යුරෝපීකරණයට අසුවූ කෙනෙකු වශයෙන් ප්‍රසිද්ධ රනිල් (චන්ද්‍රිකා ගෙන්නා ගත්තේ චාල්ස් කුමාරයාවය. පෘතුගීසීන් ලංකාවට ඇවිත් අවුරුදු 500 ක් ගතවීම සමරා උත්සවයක් ගන්නට පෘතුගාල අගමැති ගෙන්නන්නට සැදුවේ රනිල් ය), ග්‍රීක පුර රාජ්‍ය ක්‍රමය වෙනුවට ලිච්චවි රජුන්ගේ වැනි පාලන ක්‍රමයක් (ඒ දෙකම එකවගේ විය) ලංකාවේ අරඹනවා කීමෙන් අදහස් වන්නේ මෛත්‍රීපාලනය හෝ යහපාලනයට වඩා වෙනස් ක්‍රමයක්ද යන ප්‍රශ්නය අපට මතුවේ.

ප්‍රජාතන්ත්‍රවාදය නමැති නාස්ලණුව

ප්‍රජාතන්ත්‍රවාදය යන වචනයේ සංස්කෘත අර්‍ථය ප්‍රජාව අතේ ඇති නාස් ලණුව යන්නය. මින් අදහස් වන්නේ බලය ඇත්තේ මහජනයාට යන්නය. මහජනයාගේ අතේ ගොනාට දැමූ නාස් ලණුව ඇතිබවය.  නමුත් ලෝකයේ හැමතැනම සිදුවී ඇත්තේ මෙහි අනිත් පැත්තය. දේශපාලකයා මහජනයාට නාස්ලණුවක් දමා ගැනීමය. මේ ලිච්චවි පාලනයක් යන කථාවද එවැනි නාස් ලණුවක් දැමීමක්ද? කෙලින්ම මහින්ද හා තරඟකලා නම් පරදින බව දන්නා රනිල් ඇතුළු පිරිසක් මහින්ද විසින් කරගෙන ගිය අතිශයන් දූෂිත මඩ ගොහොරු පාලනය පෙරලා දැමීමට සිංහල බෞද්ධ අසතුට පාවිච්චියට ගත්තේය. මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයට පත්‌වුනේ සිංහල බෞද්ධ කලකිරීමය. සෝභිත හාමුදුරුවන් (සිවුරක්) වෙනුවට තිබූ ඊලඟ හොඳම අපේක්‍ෂකයා ඔහුවිය.

නොයෙක් ආකාරයේ විවරණ, විග්‍රහ ඇතත්, මැතිවරණ සිතියම කුමක්දැයි යථාවශයෙන් තේරුම්ගත හැක්කේ චන්දය දමන මධ්‍යස්ථාන මට්ටමින් (පෝලින් බූත්) සිතියමක් පිලියෙල කලොත් පමණය.  සිංහල බෞද්ධයින් මෛත්‍රීපාල පොදු අපේක්‍ෂකයාට චන්දය දුන්නේ චන්ද්‍රිකා-රනිල් දෙන්නාට 1994-2005 කාලයේ කරගන්නට නොහැකිවූ රට දෙකට බෙදීමේ වැඩ සටහන, ව්‍යාපාරය, 2015 දී යළි මිනීවලෙන් ගොඩ ගන්නද? මෙය වංක ප්ලෑනක් නිසා ඊට ලිච්චවි පදනමක් ආරූඬ කල නොහැකිය. දේශපාලකයින්ගේ සද්භාවය ඉබේම දැනගැනීමේ ඉවක් ජනතාවට ඇතිබව දේශපාලකයින්ට නොතේරේ.

ප්‍රහාකරන්ලාට මචං කී අය, ඔහුගේ උපන් දිනයට පිස්තෝල තෑගිකල අය, පීටොම් කපුරාළලා, පෙඩරල් ක්‍රිස්තියානීන් හා පෙඩරල් මාක්ස්වාදීන් ආණ්ඩුවේ බලවත් තනතුරුවලට පත්කරන ගමන් ලිච්චවි පාලනයක් ගෙනයන්නේ කෙසේද? ලංකාව කියා තනි රටක් ඉතුරුනොවේ නම් ලංකාවේ බුද්ධාගමක් ඉතුරු නොවේ. එක කකුලක් බුද්ධාගමේත්, අනිත් කකුල රට දෙකට කැඩෙන ඉණිමගේත් තබාගෙන වැඩිදුරක් යන්නට නොහැක. කකුල් දෙකම 13 සංශොධනයේ තබාගෙනත් මහින්ද රාජපක්‍ෂ බිමටම වැටුනේය.

වෙන්කිරීම තුලින් එකතු කිරීම!

ලගදී අගමැති රනිල් හා (සිංහල කොමිෂමේ වාර්‌තාව කුණු කූඩයට දාන්න ගිය) ඇමති මංගල සමරවීර විසින් කරන කතා දෙස බලන විට දින 100 කාලසටහන යනු දින 100 කට පෙර රටබෙදීමට පාර කපා දීමය යන්න දැන් පැහැදිලිය.  එසේ නැත්නම් නැති ජාතික ප්‍රශ්නයකට (දෙමල ජනතාවට නොව ටී එන් ඒ එකට ඇති) නොම්මර එකේ ප්‍රමුඛතාවය දීගෙන දඟලන්නේ ඇයි?  එකට සිටින/තිබෙන යම්කිසි පන ඇති හෝ පන නැති දෙකක් වෙන් කල විට ඒ දෙක වැඩියෙන් එකතුවනවා කියන්නේ කෙසේද?  යම් ගෙදරක සිටින සමගියක් නැති (එකතුවක් නැති) ජෝඩුවක් ගෙවල් දෙකකට ගියොත්/දැම්මොත් ඔවුන් වඩාත් හොඳින් එකට එකතු වෙනවාද?

කාන්දම් කෑලි දෙකක් වුවත් වෙන්කල විට සිදුවන්නේ වෙනත් බාහිර දේ හා එක්‌වීම නොවේද? විශේෂයෙන්ම එකට සිටීමේ ප්‍රශ්නය එක්කෙනෙකුට අළුත් පෙම්වතෙක් සිටීම නම් වෙන්කිරීමෙන් සිදුවන්නේ පෑස්සීමද නැත්නම් ඉබ්බාව දියේ දැමීමද? ලෝකයේ දෙමල ජනයාට කියා වෙනම රටක් හදාගන්නට භූමියක් සොයමින් ඉන්නා දෙමල පෙම්වතා කෙළහලමින් බලා ඉන්නාවිට , උතුරු-නැගෙනහිර දෙමල ජනයා නමැති විවාහ විරසක කාන්තාවට වෙනම ඉඩමක වෙනම ගෙයක් ලබාදුන්විට ඇගේ පතිවත කෙසේ නම් රැකේවිද?

"හව් කැන් යූ යුනයිට් බයි ඩිවයිඩින්" කියා ඇමෙරිකන් වැසියන් අසන්නේ මේ නිසාය. හිඩ්න් ඇජෙන්ඩා ඇති ලංකාවේ දේශපාලකයින්ට මෙන් නොව ස්වාධින අපක්‍ෂපාත මිනිසුන්ට නම් එය විකට කතාවක් පමණය. මුළු ඇමෙරිකන් රාජ්‍ය යන්ත්‍රයම සදා ඇත්තේ ඊට විරුද්ධවය. මේ නිසා ඒකීය රටක් තුල ස්වයංපාලනයක් යන රනිල්ගේ කතාව ලිච්චවි රජවරුන්ගේ කතාවක් නොව එක්කෝ සිංහල බෞද්ධයා රැවටීමට යොදාගත් දියරෙද්දකි. එසේ නැත්නම් සිංහල බෞද්ධයා හිත හොඳගෑණුන් යයි සිතීමේ පරණ පුරුද්දකි. ලිච්ඡවි රජවරුන් සාකච්චා කලා පමණක් නොව ඔවුන් සද්භාවයෙන් යුත් අවංක අයද විය. සිංගප්පූරුවේ ලී ක්වාන් ඒකාධිපතියෙකු මෙන්ම රටට අවංක පුද්ගලයෙකුද විය. ඔහු හා මහින්ද රාජපක්‍ෂ අතර තිබූ වෙනස එයය.

අවංක අගමැති රනිල්

එසේ නම්, ඇත්තටම අවංක නම්, අගමැති රනිල් විසින් කල යුත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව අමරුවේ නොදැමීමය. චන්ද කාලයේදී අඩුවෙන්ම කතාකලේ හෝ කතා නොකලේ 13 වන සංශොධනය ගැනය. මේ නිසා ඒ ගැන සංවාදයක් ආරම්භ කල යුත්තේ මේ දින 100 තුල නොව ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදීය. විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවානම්, ඒ සමග 13 සංශොධනයද ඉවත් කල යුතුය. ඒ වෙනුවට ජන සභා පිහිටුවා ගම් මට්ටමින් ජනතාවට බලය මාරුකල යුතුය. ලිච්චවි මාවත එයය. නියමම ලිච්චවි මග නම් දැන් පවතින බලු චන්ද ක්‍රමය වෙනස් කර ලිස්ට් නැතිව පාර්ලිමේන්තු චන්ද කොට්ඨාශ (ආසන) අනුව චන්දය පැවැත්‌විමය.  ඒ සඳහා කල් මදිය කීම වංක කතාවකි. ඒ සඳහා කල් ගැනීම ගැන මහජනයා විරුද්ධ නොවේ. දින 100 මදිනම් දින 200 ක් ගතහැකි වන්නේ මෙය රටේ අනාගතයට ඉතාමත්ම වැදගත්, තීරණාත්මක කාරණයක් නිසාය.

ඒකීය රටක් තුල ස්වයංපාලනයක් යන කතාව සිදුනොවන දෙයකි. එය ඉර බටහිරින් පායනවා නැත්නම් ලෝකය පැතලිය කියනවා වගේය. ලෝකයේ කිසිම ඒකීය රටක් බෙදීම මගින් එකතුකර නැත. ලෝකයේ මෙතෙක් සිදුව ඇත්තේ ඒකීය රටවල් යුද්ධ මගින් බෙදා ගැනීම පමණය. අනිත් අතට වෙනම තිබූ රටවල් ඒකීය වූයේ පෙඩරල් ක්‍රමය හරහාය. මීට අමතරව කිවයුතු අනිත් කාරණය නම් 13-ඒ තිබෙනතාක් ලංකාවට ඒකීය රටක් කියා කියන්නට නොහැකි බවය. ලංකාවට 13-ඒ මර උඟුලක්‌වී ඇත්තේ කෙසේද යන්න මෙම ලිපියේ දෙවන කොටසින් පෙන්නා දීමට බලාපොරොත්තුවෙමි.

ජාතික හෙළ උරුමය, සෝභිත නාහිමි, බොදු බල සේනාව, දිනේෂ් ගුණවර්‍ධන, නලින් සිල්වා, ගුණදාස අමරසේකර, විමල් වීරවංශ යනාදී කොටස් නිල්-කොල පක්‍ෂවල සිංහලයින්ට මෙම බැරෑරුම් අර්බුදය පෙන්වා දීමට නැවත ක්‍රියාකලයුතු කාලය මෙතරම් ඉක්මණින්ම උදාවේයැයි සිතුවේ කවුද? මෙම බලවේගයට මහින්ද රාජපක්‍ෂ මහතා ගාවා නොගතයුතු ඔහු 13-ඒ වාදියෙක් නිසාත්, අද මේ ඇති අර්බුදය ඔහුගේ අත්තනෝමතික, අසාධාරණ ක්‍රියාකලාපයේ ප්‍රතිඵලයක් නිසාත් ය.

"අපේ මව්බිමට, පරිසර විනාශය වලකා, ආර්ථික හා සමාජික විෂමතා දුරුකර, සාධාරණ සමාජයක් සදාගත හැක්කේ, 1832 දී ආරම්භවූ පලාත් නවයේ කෘතිම බෙදීම අහෝසිකර, ඒ වෙනුවට, පරිසරාත්මක මයිම් සහිත (ඉකොලොජිකල් බවුන්ඩරීස්) ජන සභා (ග්‍රාම සේවා නිලධාරී ඒකක) සම්මුති දේශපාලන ක්‍රමයක් මගිනි. එය හරි මග හෙවත් බෞද්ධ මධ්‍යම ප්‍රතිපදාවය."

චන්ද්‍රසිරි විජයවික්‍රම
ජනවාරි 23, 2015

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home